20 යි 20 තරගයෙන් ඉන්දියාවට 3 ට 0 ක ජයක්

කොදෙව්වන්ට එරෙහි 20 යි 20 තරගාවලියෙන් ඉන්දියාවට 3 ට 0 ක ජයක්

by Staff writer 07-08-2019 | 12:06 PM

News 1st - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ, දෙරට අතර පැවැති අවසන් පන්දුවාර 20 යි 20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. තරගයේ ගයානාහිදියී පැවැත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛයාව 146 කි. එවින් ලුවිස් ලකුණු 10 ක් රැස් කළ අතර සිය සිව්වන පන්දුවාර 20 යි 20 අර්ධ ශතකය වාර්තා කළ කිරන් පොලාඩ් ලකුණු 58 ක් රැස් කළේ ය. ඔහුගේ ඉණිමට එක් හතරේ පහරක් සහා හයේ පහර 6 ක් ඇතුළත් ය. නිකොලස් පූරන් ලකුණු 17 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි රොව්මන් පවෙල් ලකුණු 32 ක් රැස් කළේ ය. නායක කාර්ලෝස් බ්‍රත්වෙයිට් ලකුණු 10 යි. පන්දු යැවීමේදී දීපක් චහාර් කඩුලු 3 ක් සහා නවීදීප් සයිනි කඩුලු 2 ක් දවා ගෙන තිබේ. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පසු කළේ පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී තිබියදීයි. ලෝකේෂ් රාහුල් ලකුණු 20 ක් රැස් කළ අතර 21 වන පන්දුවාර 20 යි 20 අර්ධ ශතකය වාර්තා කළ නායක විරාත් කෝලි ලකුණු 59 ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි රිශාබ් පාන්ට් සිය දෙවන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛයාව 65 කි. පන්දු යැවීමේදී ඔශේන් තෝමස් කඩුලු 2 ක් දවා ගත්තේ ය.