JMI සමාජිකයින් තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කෙරේ

JMI සමාජිකයින් තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කෙරේ

by Staff writer 06-08-2019 | 6:37 AM
COLOMBO (News 1st) : ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නමැති තහනම් සංවිධානයේ, සමාජිකයින් තිදෙනා දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව, පොලීසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි. සැකකරුවන් මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල කඳවුරුවලදී පුහුණුව ලබා ඇතැයි, මෙතෙක් කළ මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව, පොලීසිය ප්‍රකාශ ක‍ළේ ය. ඊයේ පස්වරුවේ කළ මෙහෙයුමකින් එලෙස අත්අඩංගුවට පත් වුණේ, මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් නමැති අයයි. ඔවුන් ගෙලිඔය සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහොමදු තාහීර් හිදයතුල්ලා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පසුගිය 3 වනදා අත්අඩංගුවට ගත් ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නමැති තහනම් සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා සහ විශ්වවිද්‍යාල සිසුවා ඉදිරි විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමට පියවර ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී ඇති බවයි.