5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

by Staff writer 04-08-2019 | 6:50 AM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ. විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, විභාගය අද පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව ය. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 339,367කි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පරිශ්‍රයන්ට ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩලය ඇතුළුව අවසර නොලත් කිසිදු පුද්ගලයකුට ඇතුළු වීම තහනම් වන බව ය. එම කාලය තුළ විදුහල්පති කාර්යාලය වසා තැබිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථානවල රාජකාරියේ නිරත විභාග නිරීක්ෂකවරුන්ට ජංගම දුරකතන භාවිතය ද සපුරා තහනම් වේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසුත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන බව ය. එබැවින් එම ප්‍රශ්න පත්‍ර ළඟ තබා ගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ලබා ගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම, පුවත්පත් හෝ වාර සඟරාවල සහ මුද්‍රිත මාධ්‍යයන්ගේ මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම, අන්තර්ජාල හෝ සමාජ ජාලවල ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් එම නියෝගය කඩ කරන්නේ නම් ළඟම ඇති පොලීසිය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ය. මේ අතර හෙට ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ද සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 337,704කි. මධ්‍යස්ථාන 2678කදී විභාගය පැවැත්වෙනු ඇති.