මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

බෙංගාල බොක්ක මුහුද ඉතා රළු වෙයි: මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

by Staff writer 04-08-2019 | 10:46 AM
COLOMBO (News 1st) - උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ලබන 9 වන දා තෙක් ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින්ට දැනුම් දී ඇති බව ය. මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රීතව රැඳි සිටින ධීවරයින් දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය. උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 - 80ත් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 - 65 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව ය.