නීති විරෝධී මත්පැන් පානය කළ මීරිගම 6 දෙනෙකු මරුට

නීති විරෝධී මත්පැන් පානය කළ බාඳුරාගොඩ 6 දෙනෙකු මරුට

by Staff writer 03-08-2019 | 6:05 PM
COLOMBO (News 1st) - මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. අප වාර්තාකරු සඳහන් කළේ, තවත් 8 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව ය. පසුගිය පළමු වන දා අදාළ ස්ථානයෙන් නීති විරෝධී මත්පැන් පානය කළ පිරිසක් එකවර අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. පසුව ඉන් 5 දෙනෙකු මිය ගිය බව ප්‍රදේශවාසීහු පවසති. එම ස්ථානයෙන්ම මත්පැන් පානය කළ බව කියන තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ රාත්‍රීයේ වත්තේමුල්ල ප්‍රදේශයේ වත්තක තිබී සොයා ගෙන තිබේ. ඔහු 52 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. මිය ගිය අනෙක් පුද්ගලයින් 5 දෙනා ද පොත්තේවෙල, බාඳුරාගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මිය ගිය පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මරණ පරීක්ෂණය ඊයේ පැවැත්විණි. තවත් 8 දෙනෙක් මේ වන විටත් මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබති. මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් අද පස්වරුවේ ඔහු වතුපිටිවල රෝහල වෙත මාරු කර යවා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ වාර්තා අනුව එම මරණ මත්පැන් විෂ වීමකින් සිදුවී ඇතැයි අනාවරණය නොවන බව ය.