by Staff writer 02-08-2019 | 12:15 PM
COLOMBO (News 1st) - විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ නිශ්ශංක සේනාධිපති යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කළේ ය.
ඒ, පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දීම සඳහා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමෙන් රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබා ගැනීම සහ රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබා දීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.
එම විත්තිකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.
නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කරුණු දක්වමින් කියා සිටියේ, දෙවැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබන බව සහ පළමු විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ය.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට විනිසුරුවරයා නියෝග කළේ ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් නොකිරීම කෙරෙහි අවධානය යොමු කරමිනි.
එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට ලබන 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.