සන්ධානය ගැන අජිත් පී. පෙරේරාගෙන් අගමැතිට ලිපියක්

යෝජිත සන්ධානය ගැන අජිත් පී. පෙරේරාගෙන් අගමැතිට ලිපියක්

by Hashini De Mel 01-08-2019 | 9:30 PM

COLOMBO (News 1st): අද කැඳවා තිබූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දැඩි විරෝධය එල්ල වූ යෝජිත සන්ධාන ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව සංශෝධන යෝජනා ඇතුළත් ලිපියක් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබේ.

අදාළ ලිපියේ ප්‍රධාන යෝජනා 8ක් ඇතුළත් ය. ඉන් පළමුවැන්න වන්නේ යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ලේකම්වරයා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් පත්විය යුතු බව ය. පක්ෂ ලියාපදිංචි කාර්යාලය සිරිකොත විය යුතු බව ත්, එය එක් කුඩා පක්ෂයක මන්ත්‍රීවරයෙකු සතු පෞද්ගලික ස්ථානයක් වීම නුසුදුසු බවත් අදාළ ලිපියේ සඳහන් වේ. යෝජිත නායකත්ව මණ්ඩලය සාමාජිකයින් 10 දෙනෙකු සිටී නම් ඉන් 6 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විය යුතු බව ත්, එහිදී පක්ෂය නියෝජනය කරන තැනැත්තන් කවුද යන්න පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ යුතු බව ත් අදාළ ලිපිය මගින් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ. යෝජිත ව්‍යවස්ථාවට සංශෝධන ඇතුළත් කර කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අනුමත කරනතුරු එකී පෙරමුණ පිහිටුවීම සදහා ගිවිසුම් අත්සන් නොකරන ලෙස ද අදාළ ලිපිය මගින් ඉල්ලා තිබේ.