එජාපයේ නව සන්ධාන යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

එජාපයේ නව සන්ධාන යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වෙයි

by Staff writer 01-08-2019 | 1:09 PM

COLOMBO (News 1st): එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී තිබේ.

කෘත්‍යධිකාරි මණ්ඩල අරලියගහ මන්දිරයේදී අද උදෑසන රැස්විය. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. අද පැවති කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීම උණුසුම් තත්ත්වයක් ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව තමන්ගේ පෞද්ගලික අදහස බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ, කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. සම්මේලන හෝ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා තීරණය කළ යුතු බවට යෝජනා කළ බව ඔහු සඳහන් කළේය. කබීර් හෂීම් සහ මංගල සමරවීර යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද එම මතයේ සිටි බව අජිත් පී. පෙරේරා මහතා පවසයි. යෝජිත සන්ධානයේ බලය පැවරෙන්නේ පක්ෂයේ නායකයා, නියෝජ්‍ය නායකයා සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ, කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.