විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන් දෙදෙනෙකුට බලපෑම්

කුලී ගිවිසුමට අත්සන් නොකළ විදුලිබල අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුට බලපෑම්

by Staff writer 31-07-2019 | 6:27 PM
COLOMBO (News 1st) : විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ පාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට සහ එම සහකාර ලේකම්වරයාට ස්ථාන මාරුවීම් ලබාගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයා අද ලිඛිතව දැනුම් දී තිබේ. ඒ, එම දෙපළ අමාත්‍යංශයේ සාමූහික වැඩ කටයුතුවලට දායකත්වය ලබා නොදෙන්නේ ය.. යන ස්ථාවරය මත පදනම්වයි. ප්‍රශ්නගත ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා සහ එම සහකාර ලේකම්වරයා අමාත්‍යංශයේ සාමූහික වැඩකටයුතු වලට දායකත්වය ලබා නොදෙන බවට වූ කරුණ අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉස්මතු කර ඇත්තේ අමාත්‍යංශය සඳහා අලුතින් කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට අදාළ ක්‍රියාවලියේදී එම දෙපළ අනුගමනය කර ඇති පිළිවෙත සැළකිල්ලට ගෙනයි. කොළඹ - 02, නවම් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේ ක්‍රියාවලිය සුපිළිපන්බවින් තොර එකක් බව, විමර්ශන ඉකුත් අවස්ථා කිහිපයකදී අවධාරණය කළේ ය. ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් විසි කෝටි අට ලක්ෂයක මුදල මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අවස්ථා දෙකකදීම විරෝධය පළ කළේ මුදල් අමාත්‍යවරයායි. ඉකුත් 23 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගොඩනැගිල්ල සඳහා ගෙවිය යුතු රුපියල් 20 කෝටි අට ලක්ෂයක මුදල භාණ්ඩාගාරයෙන් නොව ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් ලබාගැනීමට අනුමැතිය හිමිවිය. අමාත්‍ය මණ්ඩලයේ එම තීරණය, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ව්‍යවසායන් සඳහා නිකුත් කර ඇති යහපාලන මාර්ගෝපදේශවලට පටහැනියි. අමාත්‍යංශ ලේකම්වරයාගේ උදහසට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා සහ එම සහකාර ලේකම්වරයා එම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීමට අනුමත ගිවිසුමට අමාත්‍යංශ පාර්ශවයෙන් අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.