පානදුරේදී කොල්ලකරුවන්ට හමුදාව වෙඩි තබයි

වෑන් රථයක් පැහැරගෙන පලා ගිය කොල්ලකරුවන්ට හමුදාව වෙඩි තබයි

by Staff writer 30-07-2019 | 6:42 AM
COLOMBO (New 1st) : මත්තේගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැර ගෙන පළා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙකුට පානදුර, පින්වත්ත ප්‍රදේශයේදී යුද හමුදාව වෙඩි තබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, පොලීසිය දෙසට ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහ කිරිමේදී යුද හමුදාව සැකකරුගේ පාදවලට වෙඩි තබා ඇති බවයි. තුවාල ලැබු සැකකරු පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ පස්වරු 7.30 පමණ මෙම සැකකරුවන් ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පෙන්වා මෙම වෑන් රථය පැහැර ගෙන ගෙන ගොස් තිබිණ. වෑන් රථයේ සවිකර තිබූ ජී. පී. එස්. උපකරණය ආධාරයෙන් මෙම වෑන් රථය ගමන් ගන්නා ප්‍රදේශය හඳුනාගත් පොලීසිය මේ පිළිබඳ අඟුරුවාතොට පොලීසියට දැනුම්දී තිබිණ. පොලීසිය සඳහන් කළේ, අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකු වාහනය නැවැත්වීමට උත්සහ දරා ඇතැත්, වෑන් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි. එම නිලධාරීන් වෑන් රථය පසුපස ලුහුබැඳ ගොස් අනතුරුව මෙම වෑන් රථය ගාලු පාර ඔස්සේ වාද්දුව දෙසට ගමන් කිරිමේදී වාද්දුව පොලිසිය විසින් ගාලු පාරේ පිහිටි යුද හමුදා සහ පොලිස් ඒකාබද්ධ මාර්ග බාධකය වෙත දැනුම් දී තිබේ. එහිදී ආරක්ෂක අංශ වෑන් රථය නැවැත්වීමට උත්සහ කර ඇතැත්, එහි සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකු යටකර වෑන් රථය ධාවනය කර ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, ඉන් යුද හමුදා සමාජිකයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, තවත් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි. අනතුරුව වෑන් රථය ගාලු පාර ඔස්සේ පානදුර දෙසට ගමන් කිරිමේදී වලාන දුෂන මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ද ඔවුන් පසු පස ලුහුබැඳ ගොස් පොලිස් ජීප් රථය වෑන්රථය ඉදිරියෙන් හරස් කොට වෑන් රථය නතර කර තිබේ. එහිදී පලා යාමට තැත් කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලිසියට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ යුද හමුදාව සැකකරුට වෙඩි තබා තිබේ. අනෙක් සැකකරු පළාගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව, පොලීසිය පැවසී ය.