විදේශිය මත්පැන්වලට නව ආරක්ෂිත ස්ටිකරයක්

නව ආරක්ෂිත ස්ටිකරය නොමැතිව විදේශිය මත්පැන් අළෙවිය තහනම්

by Staff writer 30-07-2019 | 5:17 PM

COLOMBO (News 1st) - නව ආරක්ෂිත ස්ටිකරයක් නොමැතිව විදේශිය මත්පැන් අළෙවි කිරීම තහනම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව නව ස්ටිකරය නොමැතිව විදේශිය මත්පැන් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ විකිණීම සපුරා තහනම් වනු ඇති. මෙම නීතිය පසුගිය 20 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර තිබේ. ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශිය මත්පැන් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වන අතර දේශීය මත්පැන් ද ස්ටිකර් සහිතව අළෙවි කිරීමේ නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. මෙරටට විදේශිය මත්පැන් ආනයනය කරන ආයතන සංඛ්‍යාව 23 කි. ඒ අනුව එම ආයතන ආනයනය කරනු ලබන සියලු මත්පැන් බෝතල් සහ කෑන් අළෙවි කිරීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රණය කර ඇති ආරක්ෂිත ස්ටිකරය ඇළවීමකින් තොරව වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තහනම් වනු ඇත. ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක බදු රහිත සාප්පු සංකීර්ණවලට විදේශිය මත්පැන් ආනයනය කරනු ලබන ආයතන ගෙන්වනු ලබන මත්පැන් තොගවල ද මෙම ස්ටිකරය ඇළවීමට නියමිතයි. ඒ අනුව ගුවන්තොටුපොළ සාප්පු සංකීර්ණවල ද සුරාබද්දට යටත් වන මත්පැන් කිසිවක් ස්ටිකර් ඇළවීමකින් තොරව සන්තකයේ තබා ගැනීම, ගබඩා කිරීම සහ විකිණීම තහනම් වේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, නව නීතිය මගින් නීති විරෝධි ආකාරයට විදේශිය මත්පැන් රට තුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් පාරිභෝගිකයා අතට පත්විම වැළැක්විය හැකි බවයි. මෙම ස්ටිකර් වර්ගය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කර මෙරටට ආනයනය කිරීමට නියමිත වනු ඇති. නව ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වසරේ මේ දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවේ අදායම රුපියල් බිලියන 66 ඉක්මවනු ඇති.