හිමිකම් ප්‍රකාශ නොකළ සැකකටයුතු බහාලුම් 1000 ක් වරායේ

by Staff writer 29-07-2019 | 4:49 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වරායේ හිමිකම් ප්‍රකාශ නොකළ සැකකටයුතු බහාලුම් 1000 කට අධික ප්‍රමාණයක් තිබෙන බව අද අනාවරණය වී තිබේ.

ඒ, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාරුක ඒකනායක මහතා කළ කරුණු දැක්වීමේදීයි. අදාළ සැකකටයුතු බහාලුම් විවෘත කරන ලෙස මෙහිදී අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේ ය. අධිකරණය නියෝග කළේ, එම බහාලුම් තුළ ද කැලි කසළ ඇත්දැයි පරීක්ෂා කරන ලෙසයි. මේ අතර විදේශිය රටවලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් වහාම රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ ය. අභියාචනාධිකරනය නියෝග කළේ, ශ්‍රී ලංකා රේගුවේ රඳවා තිබෙන කන්ටේනර්වල අඩංගු කසළ සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩ ගසා ඇති විදේශ රටවලින් ආනයනය කරන ලද කසළවල මිනිස් සිරුරට හා පරිසරයට හානිකර අහිතකර ද්‍රව්‍ය ඇති ද යන්න පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. පෙත්සම අද සලකා බලනු ලැබුවේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනක කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේදී ය. ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති කසළ නැවත එම රටවලට යැවීමට මධ්‍යම පරිසර අධිකාරියට හා ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පසුගිය 22 වැනි දා අභියාචානාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණි. පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය හෙට පැවැත්වීමට නියමිත වේ.