උ/ පෙළ සම්මන්ත්‍රණ හෙට මැදියම් රැයෙන් පසු තහනම්

උසස් පෙළ දේශන, සම්මන්ත්‍රණ හෙට මැදියම් රැයෙන් පසු තහනම්

by Staff writer 29-07-2019 | 12:34 PM
COLOMBO (News 1st) : මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන, සම්මන්ත්‍රණ හා උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු උපකාරක පන්ති හා දේශන පැවැත්වීම ද අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බවයි. එම විභාග අවසන් වන තෙක් තහනම බල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව එම විභාගවලට අදාළව අදාළ කාල පරාසයන් තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් වනු ඇති. මේ අතර අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම හා බෙදාහැරිම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ලඟ තබා ගැනීම ද තහනම් වේ. යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කළ හොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ ය. 05 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වන දා පවැත්වෙන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ වේ.