by Staff writer 28-07-2019 | 4:50 PM
COLOMBO (News 1st) : කොස්ගම, කළුඅග්ගල නගරයේදී අද දහවල් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඝාතනයට ලක්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවක ප්‍රධාන සැකකරු බවයි.
2018 වසරේ මැයි මස 02 වන දා වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබිණ.
එම සිද්ධියට අදාළව සෑම ඉරු දිනකම කොස්ගම පොලීසියේ පෙනී සිටින ලෙසට සැකකරුට අධිකරණය නියෝග කර තිබිණ.
කොස්ගම පොලීසියට පැමිණ ඝාතනයට ලක් ව පුද්ගලයා ආපසු යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පැවසුවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ඝාතනයට ලක් වූ කාන්තාවකගේ සැමියෙකු විසින් මෙම ඝාතනය සිදුකරනු ලැබ ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.