ධර්ම යුද්ධය ජනපති සම්මානයෙන් පිදුම් ලබයි

උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනූ චිත්‍රපටය ලෙස ධර්ම යුද්ධය සම්මාන දිනා ගනී

by Staff writer 27-07-2019 | 9:16 PM
COLOMBO (News 1st) : 19 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රගහලේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. නිවාස,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරු මෙන්ම කලාකරුවෝ රැසක් ද මෙම උළෙලට සහභාගි වූහ. 2016, 2017 හා 2018 යන වර්ෂයන්හි තිරගත වූ චිත්‍රපට අගයමින් මෙවර උළෙලේදී සම්මාන පිරිනැමිණ. සිරස මූවිස් වෙනුවෙන් එම්.එන්ටර්ටේට්මන්ට් ඉදිරිපත් කළ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් දසුන් පතිරණ 2016 වසරේ හොඳම නළු භූමිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය. 2016 වසරේ හොඳම සහය නිළිය භූමිකාවට හිමි සම සම්මානයෙන් පිදුම් ලැබුවේ, පත්තිනි චිත්‍රපටයේ රංගන දායක්තවය වෙනුවෙන් අරුණි රාජපක්ෂ හා මෝටර් බයිසිකල් හි රංගන දායකත්වය ලබාදුන් වීනා ජයකොඩියි. මීට අමතරව මෝටර් බයිසිකල්හි රංගන දායකත්වය වෙනුවෙන් සමනලී ෆොන්සේකා විශේෂ ජුරියේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර, කළණ ගුණසේකර කුසලතා සම්මානයෙන් පිදුම් ලැබී ය. 2017 වසරේ සිරස මූවිස් වෙනුවෙන් එම්.එන්ටර්ටේට්මන්ට් ඉදිරිපත් කළ ඒ ලෙවල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජයලත් මනෝරත්න මහතා විශේෂ ජුරි සම්මානයෙන් මෙහිදී පිදුම් ලැබී ය. ඒ ලෙවල්හි රංගනය වෙනුවෙන් සචිර විජේසිංහ ජනාධිපති සම්මාන උළෙලේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ධර්ම යුද්ධය චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් විනුමි වින්සදීද මෙහිදි ජූරියේ ඇගයීම් සහතික පත්‍රයකින් පිදුම් ලැබී ය. ජනාධිපති සම්මාන උලෙලේ 2018 කාණ්ඩයේ දී එම්.එන්ටර්ටේට්මන්ට් නිෂ්පාදනය කළ ගෝල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඩේවිඩ් කරුණාරත්න ජුරි සහතිකයකින් පිදුම් ලැබූ අතර නයනා දර්ශණි පෙරේරා ජනාධිපති කුසලතා සම්මානයෙන් පිදුම් ලැබී ය. එහිදි 2017 වසරේ උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනූ චිත්‍රපටය ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර වූයේ එම්.ටී.වී. නිෂ්පාදනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටයයි. https://www.youtube.com/watch?v=1CNE5sHH8I0