යාලදී දෙපිරිසක් අතර වෙඩි හුවමාරුවක්

යාල වනෝද්‍යානයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටි පිරිසක් හා වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක්

by Staff writer 26-07-2019 | 9:24 AM
COLOMBO (News 1st) - යාල වනෝද්‍යානයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටි පිරිසක් හා වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, යාල කලාප අංක 03 ප්‍රදේශයේ මැණික් ගගේ ඔවුන් මැණික් ගරමින් සිට ඇති බව ය. මෙහිදී ජාවාරම්කරුවෙකුට වෙඩි වැදී ඇති අතර ඔහුද කැටුව නීති විරෝධිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් තිබේ. තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ පදංචිකරුවෙකි. ඔහු මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි. එම ස්ථානයේ තිබී ජංගම දුරකතන 03ක් ඇතුළු මැණික් ගැරීමට යොදා ගත් උපකරණ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. මේ අතර කුලියාපිටිය ඇපලදෙණිය මංසන්ධියේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 31 හැවිරිදි ඇපලදෙණිය, ගොමුගොමුව ප්‍රදේශයේ පදංචිකරුවෙකි. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.