ගජ මිතුරන්ට ගජ වාසි සැලසීමට රථගාල නොසලකා හැරීම

ගජ මිතුරන්ට ගජ වාසි සැලසීමට රථගාල නොසලකා හැරීම

by Staff writer 26-07-2019 | 1:10 PM
COLOMBO (News 1st) - ඉකුත් අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන අනුමැතිය ප්‍රකාරව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කොළඹ නවම් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට නියමිත ය. ඒ වෙනුවෙන් වසරක අත්තිකාරම්, මාස 5ක කුලී ගාස්තු එකවර පියවීම හා ගොඩනැගිල්ල කාර්යාලයකට උචිත ලෙස සකස් කිරීමේ වියදම දැරීමට අමාත්‍යංශය යොදා ගැනීමට යන්නේ භාණ්ඩාගාරයට කිසිදු බරක් නොවී පවත්වාගෙන යන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අරමුදලයි. එම ප්‍රමාණය රුපියල් විසි කෝටි අට ලක්ෂය ඉක්මවයි. විමර්ශන ඉකුත් අවස්ථා දෙකකදී අනාවරණය කළේ, මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම හා බැඳුණු ක්‍රියාවලිය සැලසුම් සහගත වංචාවක් බව ය. අමාත්‍යංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල ආශ්‍රිතව රථ වාහන ගාල් කිරීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවේ යන කාරණය විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන්ව තිබේ. එසේ තිබියදී නව ගොඩනැගිල්ල කුලී පදනම මත ගැනීමේදී රථ වාහන ගාල් කිරීමේ පහසුකම් පිළිබඳව අමාථ්‍යංශය විසින් සැලකිල්ලට ගෙන නොමැත. මෙම ගොඩනැගිල්ල ආශ්‍රිතව අමාත්‍යංශයකට සරිලන ආකාරයේ රථ ගාලක් ද නොමැත. මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් ඉකුත් මාර්තු මාසයේදී ඉදිරිපත් කෙරුණු ලංසුව විදුලිබල අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කිරීමට එක් හේතුවක් වූයේ රථ ගාල් පහසුකම් ප්‍රමාණවත් නොවීමයි. එම පහසුකම් වැඩි දියුණු නොවී එලෙසම තිබියදී අමාත්‍යංශය පසුව මෙම ගොඩනැගිල්ල තෝරා ගැනීම අනුමත කළ හැක්කක් නොවේ. යහපාලනය යටතේ අමාත්‍යංශ සඳහා කුලී පදනම මත ගොඩනැගිලි සපයා ගැනීමේදී ප්‍රසම්පාදන පිළිවෙත් ඔළුවෙන් සිටුවා තැබුණු අවස්ථා කිහිපයක්ම වේ. මෙම ගොඩනැගිල්ල තෝරා ගැනීමට අදාළ ක්‍රියාවලිය ඒ අතරින් දූෂිතම එක ලෙස සැලකිය හැකි ය. විදුලිබල අමාත්‍යංශය මේ ගොඩනැගිල්ල වෙත ගෙන යාම පිටුපස වූ සැබෑ අරමුණ ගජ මිතුරන්ට ගජ වාසි සැලසීම නොවේ ද? විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමනි යළි ඔබේ අවධානය පිණිසයි.