මාලිංග අද එක්දින තරග දිවියට සමුදෙයි

ක්‍රිකට් ලොව පෙරළි කළ මාලිංග අද එක්දින තරග දිවියට සමුදෙයි

by Staff writer 26-07-2019 | 7:26 AM
COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ. මෙම තරගය ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අමතක නොවන තරගයක් වන්නේ අද තරගයෙන් පසුව ලොව සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීම නිසා ය. ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර දෙරට අතර පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. 1986 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 45කදී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී තිබේ. ඉන් තරග 37ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර ගෙන ඇති අතර බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. තවත් තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබේ. ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර එම එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 137කින් පරාජයට පත් විය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ මේ දක්වා කිසිදු එක්දින තරගයක් පවත්වා නොමැත. අද තරගයට සවස් කාලයේ යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩකඩක් තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරග ඉතිහාසය තුළ ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරගවලදී මෙතෙක් වැඩිම ලකුණු ලබා ගෙන ඇති ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 31ක් ක්‍රීඩා කරමින් ලකුණු 1206ක් රැස් කර ගෙන තිබේ. වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් වන අතර ඔහු බංග්ලාදේශය සමගින් එක්දින තරග 17කට සහභාගී වෙමින් කඩුලු 31ක් දවා ගෙන තිබේ. අද තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින තරග 225කදී කඩුලු 335ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දළ වශයෙන් 5.36ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී තිබේ. මාලිංග බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 14කදී කඩුලු 24ක් දවා ගෙන තිබෙන්නේ 17.04ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිත ය.