අමෙරිකාව යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

අමෙරිකාව පුරා යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයක්

by Staff writer 26-07-2019 | 7:00 AM
(News 1st) - 2003 වසරෙන් පසු මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු මධ්‍යම රජය තීරණය කර තිබේ. අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව මරණ දඬුවම නියම වූ රැඳවියන් 5 දෙනෙකුට වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ය. ලබන දෙසැම්බර් සිට ලබන වසරේ ජනවාරි ඇතුළත කාල සීමාවේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අමෙරිකානු නීතිපතිවරයා පැවසුවේ, නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සාධාරණය ඉටු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ය. එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ, මනුෂ්‍ය ඝාතන සහ ස්ත්‍රී දූෂණයන්ට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකුට ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සමූහ ඝාතකයින්ට එරෙහිව මරණ දඬුවම ලබා දිය යුතු බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබිණි. අමෙරිකාවේ මේ වන විට මරණ දඬුවම නියම වූවන් සංඛ්‍යාව 62කි. ඒ අතර 2013 වසරේ බොස්ටන් මැරතන් තරගයේදී සිදු වූ පිපිරීම සැලසුම් කළ පුද්ගලයා ද වන බව සඳහන් ය. කෙසේ වෙතත් අමෙරිකාවේ ප්‍රන්ත ආණ්ඩු කිහිපයක මේ වන විටත් මරණ දඬුවම ක්‍රියාත්මක වේ.