by Staff writer 26-07-2019 | 10:09 PM
COLOMBO (News 1st) - සුදු ඉර හරහා ආරක්ෂිතව පාර මාරුවීමට පැමිණි පාසල් සිසුවියක, අපරික්ෂාකාරී රියදුරෙකුගේ රිය ධාවනය නිසා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙය සිදුවුයේ වරකාපොළ ප්‍රදේශයේදී ය.
වරකාපොළ මංගෙදර හන්දියේ සුදු ඉර අසළ සිදු වු මේ අනතුරින් බරපතළ තුවාල ලැබුවේ උපකාරක පන්තියකට ගොස් නිවසට පැමිණෙමින් සිටි උසස් පෙළ සිසුවියකි.
ෆාතිමා මිනාසා හසන් නමැති ඇය ඉකුත් 20 වැනි දා පස්වරු 4.30 ට පමණ බස් රථයේ ගැටී තිබෙයි.
මේ දසුන්වලින් ඉතා පැහැදිලිව පෙනී යන්නේ අවට ගමන් කරන ජනතාව පිළිබඳ අඹමල් රේණුවක හෝ තැකීමකින් තොරව පෞද්ගලික බස් රථ දෙක මහ පාරේ රේස් දුවන ආකාරයයි.
මෙම සුදු ඉර ඇඳ තිබෙන්නේ ද වංගුවක් අසළ බැවින් පදිකයින් ආරක්ෂාවීම නොව අනතුරුවලට බිලි වීමට ඉඩ සැලසෙන පරිසරයක් නිර්මාණය වී තිබෙනු දැකිය හැකියි.
සිසුවිය කිසිවක් සිතන්නටවත් පෙර බස් රථයේ ගැටී වේගයෙන් ඉදිරියට විසි වු අතර සුළු වේලාවක් බස් රථයේම සිටි රියැදුරා පිටතට පැමිණ පළා යයි.
දහසක් බලාපොරොත්තු ඇතිව අධ්‍යාපනය ලබමින් සිටි මේ සිසුවිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ ඇයට ආදරය කළ සියල්ලන් කම්පාවට පත් කරමිණි.
දැන් කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන ෆාතිමා, කෑගල්ල බාලිකා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබුවේ කලා විෂය ධාරාවෙන් විභාග සටන ජය ගැනීමේ අරමුණිනි.
නමුත් අපරික්ෂාකාරී රියැදුරෙකු නිසා අද ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින අතර දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ මේ දියණිය සුවපත් වේවා යන්න සියල්ලන්ගේ ප්‍රාර්ථනාවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.
දිගු ගුවන්ගමන්වලින් පසුව ගුවන් නියමුවන්ට නිශ්චිත විවේක කාලයක් තිබෙයි.
එහෙත් බස් රියැදුරන් සම්බන්ධයෙන් ඇත්තේ මුළුමනින්ම වෙනස් තත්ත්වයකි.
රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර මත්පැන් පානය කර බස් රථ ධාවනය කරන අවස්ථා ඕනෑ තරම් දැකගත හැකියි.
ඔවුන් මාර්ග සංඥා පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැහැ.
ඉදිරියේදී ඔවුන් තවත් ජීවිත කීයක් බිලි ගනී ද?
මෙය වහාම නතර කළ යුතුයි.
මෙවැනි බස් රථවල බලපත්‍ර තහනම් කළ යුතු නොවේ ද?
අපරීක්ෂාකාරී රියැදුරන්ගේ බලපත්‍ර ද තහනම් කළ යුතු නොවන්නේ ද?
අධික වේගයෙන් බස් රථ ධාවනය කර කිසිදු සැලකිල්ලක් නොදක්වා සුදු ඉරි මතදීම අනතුරු සිදුකර යමෙකු මරණයට පත් කරන්නේ නම්,
එය මිනිස් ඝාතනයක් නොවන්නේ කෙසේ ද?
මේවාට නැවතීමේ තිත තැබීමට දැන් කාලයයි...