රටින් ගෙනා කුණු ප්‍රශ්නය අධිකරණය හමුවට

රටින් ගෙනා කුණු ප්‍රශ්නය අධිකරණය හමුවට

by Staff writer 25-07-2019 | 8:32 PM
COLOMBO (News 1st) - කොළඹ වරායේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන විදේශීය කසළ තොගය මීළඟ නඩු දිනය තෙක් එම ස්ථානයන්හිම පරිසරයට හානි නොවන ලෙස තබා ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට පොරොන්දු විය. නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේ, පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රීට් පෙත්සම අද සලකා බලමිනි. මෙම රීට් පෙත්සම ගොනු කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට පැවසුවේ, මෙම විදෙස් අපද්‍රව්‍ය මගින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා හා වකුගඩු රෝග වැළඳීමේ අවදානමක් පවතින බව ය. ජාතික පරිසර පනතෙහි විධිවිධාන උල්ලංඝනය කරමින් විදේශයන්හි සිට කැලි කසළ ආනයනයට ලබා දී ඇති ලියකියැවිලි බල රහිත කරන ලෙසත්, මෙවැනි විදෙස් කැලි කසළ ආනයනය කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ "නඩුව ලබන සඳුදා කැඳවන තුරු නීතිපතිවරයාට දැනුම් දුන්නා සහ නීතිපතිවරයා වෙනුවෙන් එකඟතාවයක් ලබා දුන්නා මේ සියලුම බහාලුම් සම්බන්ධව මේ සියලු කටයුතු පරිසරයට හානියක් සිදු නොවන අයුරින් සිදු කරන ලෙසටත් විශේෂයෙන්ම ලංකාව තුළ රැගෙන යාම හෝ ලංකාව තුළ එහා මෙහා ගෙන යාම හෝ වෙනත් ස්ථානවල තැන්පත් නොකරන ලෙසටත් විශේෂයෙන්ම සියලු බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තිබෙන නීතිරීතිවලට යටත්ව කටයුතු කළ යුතු බවටත් අද නියෝග කළා."
නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසුවේ, හේලීස් ෆ්‍රී සෝන් සමගම වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායක ආයතනය විදේශයකින් ගෙන්වූ මෙට්ට තොගයක් කටුනායක ආයෝජන කලාපයේ ගබඩා කර ඇතැයි ප්‍රකාශ කළ බව ය. ඒවා ප්‍රතිඅපනයනය සඳහා ගබඩා කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා පවසා තිබේ. මේ අතර කසළ කන්ටේනර් තොගය ගෙන්වීම හා තම ආයතනය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ඊ.ටී.එල්. සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය. තම සමාගම නැව් භාණ්ඩ ප්‍රවාහන පමණක් සිදු කරන බවත් මේවා ගෙන්වා ඇත්තේ සිලෝන් මෙට්ල් ප්‍රෝසෙසින් කෝපරේෂන් සමාගම බවත් ඔවුහු පවසති. අදාළ නීති රීති රාමුව තුළ හේලීස් ෆ්‍රී සෝන් හා සිලෝන් මෙට්ල් ප්‍රෝසෙසින් කෝපරේෂන් සමාගම් අතර අතරමැදියෙකු ලෙස පමණක් තමන් කටයුතු කරන බව ඊ.ටී.එල්. සමාගම අවධාරණය කරයි. ඔවුන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේදී මෙම භාණ්ඩ බැහැර කිරීමට හෝ නීති විරෝධී කිසිවක් කිරීමේ කිසිදු හැඟීමක් තම සමාගමට නොවූ බව ය. නැව් භාණ්ඩ ප්‍රවාහනයට පමණක් සම්බන්ධ වුවත් ගෙන්වන භාණ්ඩ පිළිබඳව අවබෝධයක් ඊ.ටී.එල්. සමාගමටත් තිබිය යුතු නොවේ ද? නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනයට සම්බන්ධ වී දැන් ඔවුන් කරන මේ පැහැදිලි කිරීම පිළිගත හැකි එකක් ද? මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඔහු පැවසුවේ, මේ සම්බන්ධයෙන් පොලීසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිම පරීක්ෂණයක් සිදු නොකරන බව ය. මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ප්‍රංශ සමාගමක් ද ශ්‍රී ලංකාවට කසළ එවා ඇති බව ය. ඊට අදාළ සාක්ෂි තමන් සතුව ඇති නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ. අමෙරිකානු ඩොලර් 1400 බැගින් එක් කන්ටේනරයක් සඳහා ලබා දෙන බව සඳහන් කරමින් ප්‍රංශ සමාගම 2018 වසරේ නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවූ විද්‍යුත් පණිවුඩයක් ද ඔවුහු අද මාධ්‍යයට නිකුත් කළහ.