අලි රොෂාන්, නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ්

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 25-07-2019 | 5:55 PM
COLOMBO (News 1st) - නීති විරෝධීව අලි ඇතුන් 5 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේ ය. ඒ, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බලමිනි. විත්තිකරුවන් 8 දෙනාට එරෙහිව එල්ල වී ඇත්තේ පොදු දේපළක් වන අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 36ක් බවත්, ඇප ලබා දුන්නොත් ඔවුන් අධිකරණය මගහැර යාමේ ප්‍රවණතාවක් මෙන්ම නඩුව විභාග කිරීමට බාධා පැමිණිය හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේ ය. අදාළ ඉල්ලීම සලකා බැලූ විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැදිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළේ ය. නඩුව ලබන 2 වන දා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට අධිචෝදනා ද භාර දුන්නේ ය. අධිකරණය නිකුත් කරන ලද සිතාසි නියෝග අනුව සමරප්පුලිහේවගේ නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, රසික චානුක ගම්ලත්, පලියපිටිය ගමගේ ජයලත්, උපාලි පද්මසිරි, දමිත චතුරංග සහ ප්‍රියංකා සංජීවනී නඩුවේ සෙසු විත්තිකරුවන් වේ.