සේසත හා ජීවිත කන්දට බිලිදුන් කෑලි හා භාග නිවැසියන්

සේසත හා ජීවිත කන්දට බිලිදුන් කෑලි හා භාග නිවැසියන්

by Staff writer 24-07-2019 | 9:09 PM
COLOMBO (News 1st) : ජනතාව ඡන්දය දී ආණ්ඩුවක් පත් කරන්නේ සිය ගැටලුවලට විසඳුම් ලබාගැනීමටයි. නමුත්, ඇතැම් ගම්මානවල ආණ්ඩුව විසින්ම ප්‍රශ්න ඇති කර තිබෙන බව ගම්මැද්ද ගෙන් ගෙට ගිය කණ්ඩායම්වලට දක්නට ලැබිණ. මාතර දියගහ ගම්මානයට සරුසාර අතීතයක් තිබිණ. නිසි කලට වැසි, වතුර පිරුණු ජලාශ ,අස්වැන්න සහිත අටුකොටු සියල්ල ආණ්ඩුවේ ව්‍යාපෘතියක් නිසා වෙනස් විය. දැන් ඔවුන්ට තිබෙන්නේ දුක්බර වර්තමානයකි. දියගහ ගම්මානය පුරා ආණ්ඩුවෙන් ජලය අධික ලෙස උරා ගන්නා ඇකේශියා සහ පයිනස් ගස් වගා කළේ ය. දියගහ ගමේ දියවැල් සිඳිණ. දැන් තෙතමනයක් නැති පස කඩා වැටෙන අතර ගමේ මිනිස්සුන්ට බීමට වතුර පවා මිලදී ගන්නට සිදුව තිබේ. මොරවක මොරක්කන්ද ගම්මානයට ගිය විට ගම්මැද්ද කණ්ඩායම දුටුවේ කෑලි නිවාස සහ බාග නිවාසයි. 2016 ඇති වූ නාය යාමකින් මේ ගමේ සියලුම සේසත මොරවක් කන්ද ඩැහැගත්තේ ය. ගමේ පවුල් 30 ක සාමාජිකයින් 23 දෙනෙක් දිවි පිදූ අතර 14 දෙනෙක් මොරවක් කන්ද යට සැඟව ගියහ. මේ ජනතාවට ඉතිරි වූයේ දුක සහ බලාපොරොත්තුව පමණි. ආණ්ඩුවෙන් ලක්ෂ 25 ක වන්දියක් අනුමත කළ ද , එය ඔවුන් ප්‍රතික්ෂේප කළේ ය. ඊට හේතුව, එම මුදලට නිවාස සහ ඉඩම් මිලදී ගැනීමට නොහැකි වීමයි මේ අනුව ඔහුන් තාවකාලිකව කුලී නිවාස වෙත යොමු කෙරිණ. රත්නපුර, කුරුවිට එරත්න ගම්මානයේ වැසිදාට මාර්ග බොහොමයක් වාරිමාර්ග බවට පත් වන අතර අතුරු මාර්ගය ද වතුර මාර්ග බවට පෙරළී තිබේ. ප්‍රවේශ මාර්ගයේ කිලෝමීටර් තුනක විතර තාර තිබූ බව දන්නේ ගමේ පැරැණි වැඩිහිටියන් පමණයි. දලු නෙලා දිවි ගෙවන මේ පවුල් 1000 බලධාරීන්ට පාරක් ගැන කීපාරක් නම් කියන්න ඇත්ද ? ත්‍රිකුණාමලය තෙලියායී ගම්මානයට කඩා වදින අලි, වන ජීවි නිලධාරින්ට වඩා බුද්ධිමත්. විදුලිය නැති වැටක් සකස් කර දී වනජීවී නිලධාරීන් ගම්මු රැවෙට්ටුවද අලි රවට්ටන්නට නොහැකි වී තිබේ . කිසි කරදරයකින් තොරව අලි ගම් වදින්නේ ඒ හේතුවෙනි. යාන්තම් දිවිගැටගහන පවුල් 600ක් දැන් අලි අමාරුවක වැටී සිටී. මේ ගම ගැන අනුකම්පාවෙන් දවසක අලි විසින් ම ගමට නොයන්න තීරණය කළහොත් මිසක, වනජීවී නිලධාරීන් නම් ගමට ඇවිත් මේ ප්‍රශ්නය විසඳනු ඇතැයි ගම්මුන්ට විශ්වාසයක් නොමැත. මේ ගම්වාසීන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඇඟ හදන ජිම් නොව දරුවන් හදා වඩා ගන්නා වගාව අලින්ගෙන් රැකදෙන ලෙසයි . https://www.youtube.com/watch?v=Z3xLTyAWyOQ