කුණු කන්ටේනර් ගැන එංගලන්තයෙන් විමර්ශනයක්

කුණු කන්ටේනර් ගැන බ්‍රිතාන්‍ය පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

by Staff writer 24-07-2019 | 12:27 PM
COLOMBO (News 1st): බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත් අනාවරණ කළේය. එහි දැක්වෙන්නේ ප්‍රතිචක්‍රීකරණය සඳහා බ්‍රිතාන්‍ය සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් හමු වී ඇති බව ය. එම පුවත්පත අනාවරණය කළේ, අදාළ කර්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය. මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කළේය. එහි සඳහන් වන්නේ එම කන්ටේනර් තුළ තිබී මෙට්ට සමග අතිශය උපද්‍රකාරී ද්‍රව්‍ය සහිත සායනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ මෙට්ට කොටස් සොයාගෙන ඇති බව ය. භාවිත කරන ලද මෙට්ට ගෙන්වන මුවාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති මෙම කසල ද්‍රව්‍ය අතිශය උපද්‍රවකාරී බව මධ්‍යම පරිසර අධිකාරිය උපුටා දක්වමින් - ද ටෙලිග්‍රාෆ් පුවත්පත - අනාවරණ කළේය. බ්‍රිතාන්‍ය මිනිස් ශරීර කොටස් මෙම කන්ටේනර් තුළ ඇති බව තහවුරු වුවහොත්, මේවා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ අර්බුදයකට මුහුණ දී සිටින N H S රෝහල්වල අපද්‍රව්‍ය බවට විශ්වාස කළ හැකි දැයි ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.