වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

වෛද්‍ය වෘත්තියට අවසර දීමට අදාළව වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

by Staff writer 23-07-2019 | 4:32 PM
COLOMBO (News 1st) : පිළිගත් විදේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය සමත් වූ හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මූලික කඩඉම් පරීක්ෂණය සමත් උපාධිධාරීන්ට මෙරට තුළ වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා ඉඩකඩ සලසමින්, ලියාපදිංචි කර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ ය. ඒ, විදේශීය විශ්වවිද්‍යාලවලින්, උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණ වෛද්‍ය සභාව විසින් පැවැත්වූ මූලික කඩඉම් පරීක්ෂණය සමත් වූ තමන්, වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව වෛද්‍ය උපාධිධාරීන් 16 දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. මෙම පෙත්සම් විභාගයට ගනු ලැබුවේ, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය,  සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. අද සිට දින දින 30ක් ඇතුළත මෙම වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ, මොවුන් ඉදිරියේදී සීමා වාසික පුහුණුව සඳහා බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.