ශ්‍රී ලංකා - බංග්ලාදේශ පුහුණු තරගය

දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් සභාපතිගේ පිල බංග්ලාදේශයට එරෙහිව අද තරග බිමට

by Staff writer 23-07-2019 | 8:56 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය අද පැවැත්වේ. ඒ, කොළඹ පී. සාරා ඕවල් ක්‍රීඩාංගණයේදී ය. ශ්‍රී ලංකා කණ්ඩායම සහා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන 26 වනදා ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර මෙම එක්දින තරගය පැවැත්වෙන්නේ එයට පෙර පුහුණුවීමක් ලෙස ය. මෙම තරගයේදී ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි. පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී සිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කළ රමේෂ් මෙන්ඩිස් ද මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඊට අමතරව ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරගාවලියේ දී දස්කම් දැක්වූ භානුක රාජපක්ෂ, විශ්ව ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් ද බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගය අද උදෑසන 10 ට ආරම්භ වීමට නියමිත ය.