ට්‍රම්ප් කිව්වේ බොරුවක්ද? ඇත්තක්ද?

ට්‍රම්ප් කියන්නේ බොරු කතාවක් - ඉන්දියාව

by Staff writer 23-07-2019 | 8:31 AM
COLOMBO (News 1st): ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, කාශ්මීර අර්බුදය විසඳීමට මැදිහත්වන්නැයි අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ බවට පලවන වාර්තා අසත්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ, කාශ්මීර් අර්බුදය විසඳීමට මැදිහත් වන්නැයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ගෙන් ඉල්ලා සිටි බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුවයි. ලෝක බලවතා වශයෙන් ඉන්දියාව සහ පකිස්ථානය අතර අර්බුදය නිමා කිරීමට අමෙරිකාවට හැකිවනු ඇතැයි පසුගියදා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනපති ට්‍රම්ප් හමුවේ ප්‍රකාශ කළ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස පවසා තිබුණි. ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටලු ද්විපාර්ශ්වික සාකච්ජා මගින් පමණක් විසඳීම ඉන්දියාවේ ප්‍රතිපත්තිය බව ට්විටර් වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය කියා සිටියේය. 1947 වසරේ ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් මිදුණු වකවානුව දක්වා කාශ්මීර අර්බුදය දිවයනු ඇති. මේ වනවිට කාශ්මීරයේ උතුරු සහ බටහිර කොටස් පකිස්ථානයේ ද මධ්‍යම සහ දකුණු ප්‍රදේශ ඉන්දියාවේ ද ඊසානදිග ප්‍රදේශ 2ක් චීන පාලනය යටතේ ද පවතී. ඉන්දියාව සහ පකිස්ථානය නිරතුරු කාශ්මීරයේ අයිතිය වෙනුවෙන් සටන් වැදුනු අතර එහි ආසන්නතම සිදුවීම වූයේ ඉකුත් පෙබරවාරි මස පකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ පිහිටි ත්‍රස්ත කඳවුරකට ඉන්දීය ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීමයි.