අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මි. 21 කුලියක්

අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මි. 21 කුලියක්

by Staff writer 23-07-2019 | 6:41 PM
COLOMBO (News 1st) : කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි ගොඩනැගිල්ල බද්දට ලබා ගත් මුදල පිළිබඳව අද අනාවරණය විය. ඒ , ගිවිසුම සකස් කිරීමට සහය දුන් නීතිඥ කණුෂ්ක ගුණවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි. මුල් වසර 02 සඳහා මසකට රුපියල් මිලියන 21 බැගින් ගොඩනැගිල්ල බදු දී ඇතැයි මෙහිදී අනාවරණය විය. තුන්වන වසරේ සිට ගොඩනැගිල්ලේ මාසික බදු මුදල රුපියල් මිලියන 23 කි. කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව බව ද ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ විය. බදු ගිවිසුමට අත්සන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී. විජේරත්න එම ගොඩනැගිල්ල වෙනුවෙන් ඩී.පී. ජයසිංහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික උපාලි ජයසිංහ හා ප්‍රවීණ රංගන ශිල්පීනි සබීතා පෙරේරා මහත්මියයි. ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීමෙන් පසු එහි කාර්යාලීය උපකරණ සඳහා රුපියල් මිලියන 466 ක් අමාත්‍යාංශයෙන් වැය කළ බව ද කොමිසමේදී හෙළිව තිබේ.