හේමසිරි සහ පූජිත් අධිකරණය හමුවේ පෙනී සිටිති

හේමසිරි සහ පූජිත් අධිකරණය හමුවේ පෙනී සිටිති

by Staff writer 22-07-2019 | 2:17 PM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද පළමුවරට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඒ, ඔවුන් දෙදෙනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කැඳවු අවස්ථාවේදීයි. මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් පසුගිය අප්‍රේල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ හැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එකී ප්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන් සිය රාජකාරිය පැහැර හැරී බවට ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින්, පළමුවන සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පසුගිය 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව අධිකරණයට දැනුම් දුන්නේ ය. දෙවැනි සැකකාර පුජිත් ජයසුන්දර මහතාගෙන් පසුගිය 18 සහ 19 යන දෙදින තුළ ප්‍රකාශ සටහන් කර ගත් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කිරීම සඳහා පුජිත් ජයසුන්දර මහතා අද දිනයේද අපරාධ පරීක්ෂණ හමුවට කැඳවා ඇති බව සඳහන් කළේ ය. දෙවැනි සැකැකාර පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කර විමර්ශනවල ප්‍රගතිය ගැන ඉදිරියේදී අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරවයා අධිකරණයට පෙන්වා දුන්නේ ය. පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් ජයසුරිය මහතා කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකරුවන් දෙදෙනාට පසුගිය 9 වැනිදා අධිකරණය විසින් ලබාදුන් ඇප නියෝග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එම මාධ්‍ය නිවේදනය දෙස අවදානය යොමුකරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීයෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධීකරණයට දැනුම් දුන්නේ තොරතුරු දැනගැනීමේ පණත මේ වන විට පාර්ලිමේන්තුවෙ සම්මත කර ඇති බැවින් එම පනත යටතේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය තොරතුරු ඉල්ලා සිටි විට ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ඇතිව පත් කළ නිළධාරින්ට එකී තොරතුරු නිකුත් කිරීමේ අයිතිය හිමිවන වන බවයි. කෙසේවෙතත් විත්තියේ නීතිඥවරයා විසින් පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමුකිරීමට තමන් පියවර ගන්නා බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, සැකකරුවන් දෙදෙනාට එරෙහිව කරන පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු සාක්ෂි කරුවන් රැසකගෙන් සටහන් කරගෙන ඇති බව කියා සිටියේ ය. වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එහිදී විමර්ශන නිලධාරින්ට අවවාද කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ඔක්තෝබර් 03 වැනිදා යළි කැඳවීමට නියෝග කළේ ය. පළමුවන සැකකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් විමර්ශණ නිලධාරින් විසින් ත්‍රස්ත විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතගෙන් ප්‍රකාශ සටහන් කරගෙන, ඇති බවත් මරාගෙන මැරෙන බෝම්බකරු වන සහරාන් හෂීම් සම්බන්ධයෙන් එම නිලධාරියා ලබාදී ඇති ‍ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත් ඔහු අධීකරණයෙන් ඉල්ලා සිටියේ ය. වරුණ ජයසුන්දර මහතාගෙන් ලබාගෙන ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් උද්යෝගයෙන් විමර්ශන කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා එහිදී ඉල්ලා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා පෙන්වා දුන්නේ, සෑම ප්‍රකාශයක් සම්බන්ධයෙන්ම අවධානය යොමුකර විවෘත මනසකින් විමර්ශන නිලධාරින් කටයුතු කරන බවයි.