තැපෑලේ ලිපි ලක්ෂ 6 ක් ගොඩගැසේ

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ තැපෑලේ ලිපි ලක්ෂ 6 ක් ගොඩගැසේ

by Staff writer 22-07-2019 | 5:14 PM

COLOMBO (News 1st) - වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, ඉන් ලිපි ලක්ෂ තුන හමාරක් පමණ ව්‍යපාරික ලිපි වන බවයි. සමාන්‍ය ලිපි ලක්ෂ දෙක හමාරක් පමණ පවතින බව ද ඔහු සඳහන් කළේ ය. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දිවයිනේ සියලු පාලන කාර්යාලවල රාජකාරි සිදුවන බවයි. එහෙත් බොහෝමයක් තැපැල් සහ උපතැපැල් කාර්යාල වසා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ඊයේ මධ්‍යම රාත්‍රියේ තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය. ඒ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. තැපැල් වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, දිවයින පුරා තැපැල් සේවකයින් 26,000 කට ආසන්න පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් ව සිටින බවයි.