නෙට්බෝල් ලෝක කුසලානය පස්වන වරටත් නවසීලන්තයට

නෙට්බෝල් ලෝක කුසලානය පස්වන වරටත් නවසීලන්තයට

by Staff writer 22-07-2019 | 7:16 AM
COLOMBO (News 1st) : පස්වන වරටත් නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් පසු පසුගියවර ශූරයින් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමිනි. 2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල් හීදී පැවැත්විය. ශ්‍රී ලංකාවද ඊට එක් වූ අතර ඔවුන්ට ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව හිමි වූයේ 15 වැනි ස්ථානයයි. ගෝල 348 ක් ශ්‍රී ලංකාවේ තර්ජනි සිවලිංගම් මෙවර ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රිඩීකාව ලෙස වාර්තා අතරට එක්ව සිටී. 2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්විය. එහිදී නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඔස්ට්‍රේලියාවයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම අඛණ්ඩව ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් 15 වන අවස්ථාව මෙය වූ අතර එම අවස්ථා 15 අතුරින් අවස්ථා 11 කදී ලෝක ශුරතාව දිනා ගැනීමටද ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් සමත්ව තිබීම විශේෂත්වයකි. නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් 11 වන අවස්ථාව මෙය වන අතර ඔවුන් අවස්ථා 4 කදී ලෝක ශුරතාව හිමිකරගෙන තිබිණ. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු වටයේදී කන්ඩායම් දෙකම ගෝල 10 බැගින් රැස් කිරීම හේතුවෙන් එම වටය නිමාවට පත්වුනේ ජය පරායෙන් තොරවයි. තරගයේ දෙවන වටයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගහනය කළ නවසීලන්ත ක්‍රීඩිකාවන් එම වටය ගෝල 18 ට 15 ක් ලෙස ජය ගත්තේ ය. නැවතත් ක්‍රියාත්මක වූ නවසීලන්ත ක්‍රීඩිකාවන් තරගයේ තුන්වන වටය ජයගත්තේ ගෝල 13 ට 12 ක් ලෙසයි. තරගයේ සිව්වන වටයේදී නැවතත් දක්ෂතා අතරට පිවිසි ඔස්ට්‍රේලියා ක්‍රීඩීකාවන් ගෝල 14 ට 11 ක් ලෙස එම වටය ජය ගත්හ. කෙසේ වෙතත් තරග වට 4 ක් අවසානයේ ගෝල 52 ට 51 ක් ලෙස තරගය ජය ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ 2019 නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගත්හ.