ග්ලෝරි නැවේ ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නවතී

ග්ලෝරි නැවේ ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නවතී

by Staff writer 21-07-2019 | 5:56 PM
COLOMBO (News 1st) ; දැඩි සුළං සහිත කාලගුණයත් සමග ගාල්ලේදී අනතුරට ලක්වූ - ශ්‍රී ලංකා ග්ලෝරි - නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවු බව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සමාන්‍යාධිකාරි අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ, නළයක සිදුවූ කාන්දුවක් හේතුවෙන්, ඉන්ධන ඉවත් කිරීමට බාධා මතුව ඇති බවයි. කෙසේ වෙතත් එම කටයුතු යළි අද සවස ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය. නෞකාවේ ඩිසල් ටොන් 10 හෝ 15 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට විශ්වාසය පළ වේ. අනතුරට ලක්වූ - ශ්‍රී ලංකා ග්ලෝරි - නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඉන්ධන ඉවත් කිරීමට තීරණයේ කළේ, එහි පවතින ඉන්ධන සංචිත කාන්දු විමක් සිදුවුවහොත් කොරල්පරවලට හානි විය හැකි බැවිනි. පසුගිය 18 වනදා පස්වරුවේ පැවති දැඩි සුළං සහිත කාලගුණයත් සමග අදාළ නෞකාව නැංගුරම්වලින් මිදී, එහි සිටි නාවිකයින් ද සමග රූමස්සල මුහුදු තීරයට එලෙස ගසාගෙන ගොස් තිබිණ. එහි සිටි සියලු දෙනා නිරුපද්‍රිතව බේරාගනු ලැබුවේ, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් විසිනි.