නිවාසවලට පහරදීමට ආ ආවා සාමාජිකයෙකු හඳුනා ගැනේ

ඉනුවිල් නිවාසවලට පහරදීමට ආ ආවා සාමාජිකයෙකු හඳුනා ගැනේ

by Staff writer 21-07-2019 | 4:47 PM
COLOMBO (News 1st) ; යාපනය, මනිපායි පොලිස් වසමේ ඉනුවිල් පාර ප්‍රදේශයේ නිවාසවලට පහරදීමට පැමිණි බව කියන ආවා කල්ලි සාමාජිකයෙකු හඳුනා ගෙන ඇතැයි, පොලීසිය පවසයි. අනෙක් සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන්, තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වේ. ඊයේ රාත්‍රීයේ ආවා කල්ලි සාමාජිකයින් පිරිසක් ඉනුවිල් පාර ප්‍රදේශයේ නිවාසවලට පහරදීමට පැමිණෙන බවට ලද තොරතුරක් මත පොලීසිය එම ප්‍රදේශයේ රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමක නිරත විය. එහිදී යතුරු පැදි තුනකින් පැමිණි ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන් පොලීසියට කඩුවලින් පහරදීමට තැත් කර තිබේ. එම අවස්ථාවේ පොලීසිය කළ වෙඩි තැබීමෙන් ආවා කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත් විය. අනෙක් ආවා කල්ලි සාමාජිකයින් 5 දෙනා පසුව එම ස්ථානයෙන් පළා ගොස් තිබිණ. පොලීසිය ප්‍රකාශ කළේ, පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී කඩු තුනක් හා යතුරු පැදියක් ද සොයා ගත් බවයි.