කටුවාපිටිය දේවස්ථානය මාස 3 කට පසු යළි විවෘත කෙරේ

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කෙරේ

by Staff writer 21-07-2019 | 8:50 AM

COLOMBO (News 1st) -අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරිණ.

ඒ මාස තුනකට පසුවයි. ත්‍රස්ත ප්‍රහාරයේ අමිහිරි මතක සමගින් කටුවාපිටිය කිතුණු ජනතාව අද අලුයම පටන් කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට රැස්වූණේ, ස්වර්ගස්ත වූ තම නෑ හිතමිත්‍රාදීන් සිහි කිරීම සඳහායි. දහසකට අධික බැතුමතුන් පිරිසක් අද පෙරවරුවේ දේව මෛහෙයට එක්ව සිටි අතර දේවස්ථානය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබිණ. ප්‍රහාරයෙන් තෙමසකට පසු යළිත් දේවස්ථානය බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරුණු අද, දේවස්ථානයේ මුල්පෙළ අසුන් ප්‍රහාරයෙන් තවමත් තුවාල ලබා සිටින පිරිස් වෙනුවෙන් වෙන් කර තිබීම ද විශේෂත්වයකි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය පෙරවරු 8.30 ට පමණ ආරම්භ විය. ප්‍රතිසංස්කරණය කරන ලද දෙව්මැදුර අගරදගුරුතුමන්ගේ මුලිකත්වයෙන් කැප කෙරුණේ ඉන් අනතුරුවයි. එහිදී අගරදගුරු හිමියන් රටේ ජනතාවගෙන් හා ලෝක මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලීමක් ද කළේ ය. නව දහම් පාසල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම, විපතට පත් පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාවට නැංවුණේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා නව නිවාස යෝජනා ක්‍රමයකට අදාළ මූල්‍ය ප්‍රතිපාදන නිල වශයෙන් අගරදගුරු හිමිපාණන් වෙත ලබාදීම ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් එහිදී සිදුකෙරිණ. https://www.youtube.com/watch?v=99cbkwWn-uY