ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක්

ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක්

by Staff writer 20-07-2019 | 5:45 PM
COLOMBO (News 1st) : පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග නැවත දැනුම් දෙන තුරු එක් දින යාත්‍රා වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු ප්‍රදේශවලින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කර තිබේ. මේ අතර දිවයින හරහා සහ දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අධික සුළං තත්ත්වයට සහ මුහුදු රළට හසුවෙමින් ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටි ධීවර යාත්‍රා 20 ක් මේ වන මාලදිවයිනට සේන්දු වී ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි. ඔවුන් ධීවරයින්ට දැනුම්දී තිබුණේ, යාත්‍රා කිරීමේ අපහසු තත්ත්වය තුළ ධීවර යාත්‍රා ලගම හෝ පහසුවෙන් ළඟා විය හැක ගොඩබිමකට සේන්දු කරණ ලෙසයි. මේ අතර ධීවර යාත්‍රා සමග ගුවන් සන්නිවේදන සබන්ධතා පවත්වාගනිමින් තොරතුරු ලබා ගැනීමට ද ධීවර දෙපාර්තමේන්තුව ඊයේ සිට කටයුතු කරමින් සිටී. මේ අතර අධික වර්ෂාවත් සමග ප්‍රදේශ තුනකට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශය පියවර ගෙන තිබේ. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, නුවරඑළිය කොත්මලේ ප්‍රදේශයට සහ මහනුවර උඩපලාත යන ප්‍රදේශවලට එලෙස රතු නිවේදන නිකුත් කර ඇති බවයි. රත්නපුර, නුවරඑළිය කෑගල්ල, මහනුවර ,කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය. මුහුද රළුවීම හේතුවෙන් හලාවත කුරුස පාඩුව ප්‍රෙද්ශයේ පවුල් 52 ක් තාවකාලිකව වාසස්ථානවලින් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ අංශ කටයුතු කළේ ය. ඔවුන්ව මේ වන විට හලාවත - වැල්ල රෝමාණු කතෝලික දේවස්ථානයට යොමු කර තිබේ. රත්ගම, ඕවර්කන්ද ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. අදාල සිද්ධියත් ඇතුළුව ගෙවුණු දින තුන තුළ නායයාම්, ජල ගැලීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර හලාවත, පුත්තලම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් මතට බත්තුළුඔය ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙකුට සහ කුඩා දරුවෙකුට තුවාල සිදු විය. මාතර නාරංගල පරගොඩ උයන්ගොඩ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී නිවසට බරපතල හානි සිදු විය. නිවසේ රැඳී සිටි එක් පුද්ලයෙක්ට තුවාල සිදු වී ඇති බව අප වාර්තාකරු පැවසී ය. මේ අතර ගස් කඩා වැටීමෙන් සහ නාය යාම්වලින් විදුලි රැහැන් පද්දතිවලට හානි සිදු වී දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, නුවර, නුවරඑළිය යන දිස්ත්‍රිකවල ස්ථාන රැසකින් මෙම තත්ත්වය වාර්තා වේ. විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පමණක් නිවාස 1 20 000 ක විදුලිය ඇණහිට ඇත බවයි. විදුලි බල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව ද එම මණ්ඩලය සඳහන් කළේ ය.