කටුනායක ගොඩ ගැසූ පිටරට කුණුවල දර්ශන මාධ්‍යට නිකුත් කෙරේ

by Staff writer 20-07-2019 | 1:36 PM
COLOMBO (News 1st): කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩ ගසා ඇති විදෙස් රටවලින් ආනයනය කළ කසල තොග වල දර්ශන මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය මගින් මාධ්‍යයට නිකුත් කර තිබේ. මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පැවසුවේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අංක 4 තුළ පිහිටා ඇති හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ් ආයතනය විසින් මෙම අපද්‍රව්‍ය ආනයනය කර ඇති බව ය. එවැනි ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය පරිසර හෝ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බලපත්‍රයක් එම ආයතනය සතුව නොතිබූ බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ අත්සනින් අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව කටුනායකට රැගෙනවිත් ඇති අපද්‍රව්‍ය තොගය රඳවා ඇත්තේ අනාරක්ෂිත ලෙස ය. අප දියර හා අංශු එම අපද්‍රව්‍ය වලින් පරිසරයට මුදාහරින බව ස්ථානය පරීක්ෂා කළ පරිසර අධිකාරියේ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ කන්ටේනර් 130 කින් රැගෙනආ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27,685 ක් පමණ වර්ග අඩි 50,000ක පමණ වපසරියක ගොඩගසා ඇති බව ය.