අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මරුට

අයහපත් කාලගුණයෙන් 7 දෙනෙකු මරුට: 5,000 කට අධික පිරිසක් පීඩා

by Staff writer 20-07-2019 | 7:05 AM
COLOMBO (News 1st): අයහපත් කාලගුණයත් සමග ඇති වූ නායයාම්, ජල ගැලීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.  එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය. මේ අතර පවතින වර්ෂාවත් සමග රත්නපුර, නුවරඑළිය කෑගල්ල, මහනුවර ,කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් අද රාත්‍රී 9 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ය. දිවයින හරහා සහ දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය අද දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවේ බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වූ ඉතා තද සුළං ඇති ඇතිවිය හැක බව ය. මේ අතර ඊයේ (19) අලුයම 2.00 පමණ ගිනිගත්හේන - මහනුවර ප්‍රධාන මාර්ගයේ, ගිනිගත්හේන පොලීසිය අසළ කොටසක් නාය යාමෙන් වෙළෙඳසැල් 10 කින් යුත් දෙමහල් සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ විය. ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ එම නායයාමේ අවදානම පිළිබඳව මීට වසර ගණනාවකට පෙර අනතුරු අඟවා තිබූ බව ය. මේ අතර නැවත දැනුම් දෙන තුරු එක් දින යාත්‍රා වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු ප්‍රදේශවලින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා දැනුම් දෙන්නේය. අධික සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්ය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා 20 කට පමණ මාලදිවයින මුහුදු සීමාවට ඇතුළුවෙමින් ඇතැයි ඔහු පවසයි. මේ අතර ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පන් ලක්ෂ පනස් දහසක් පමණ පීඩාවට පත්ව සිටින බව ය.