බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ඉරානය සිය ග්‍රහණයට ගනී

ඉරාන - බ්‍රිතාන්‍ය අර්බුදය උග්‍ර කරමින් බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ඉරානය සිය ග්‍රහණයට ගනී

by Staff writer 20-07-2019 | 8:50 AM
  COLOMBO (News 1st): ඉරානය විසින් ගල්ෆ් මුහුදු තීරයේදී බ්‍රිතාන්‍ය ධජය සහිත තෙල් නෞකාවක් සිය ග්‍රහණයට ගනු ලැබ තිබේ. නෞකාවේ හිමිකාරිත්වය පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත ස්ටෙනා ඉම්පෙරෝස් නැමැති මෙම නෞකාව සමග පැවති සියලු සන්නිවේදන සබඳතා අවහිර වූ බව ය. ඉරානය තම ධජය සහිත නෞකාව නිදහස් නොකරන්නේ නම් බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසා තිබේ. ඔහු පැවසුවේ බ්‍රිතාන්‍ය නෞකාව ඉරාන ග්‍රහණයට ගැනීමට පෙර කුඩා යාත්‍රා 4 ක් හා හෙලිකොප්ටරයක් පැමිණ අදාළ නෞකාව වටකර ඇති බව ය. මේ අතර වේග ප්‍රහාරක යාත්‍රා 10 ක් යොදා ගනිමින් එම මුහුදු කලාපයේදී මෙස්ඩාර් නැමැති තවත් බ්‍රිතාන්‍ය නෞකාවක් සිය ග්‍රහණයට ගැනීමට ඉරාන හමුදා උත්සාහ දරා ඇතැයි වාර්තා වේ.‍ කෙසේවෙතත් අදාළ නෞකාවට කිසිඳු බලපෑමක් සිදුව නොමැති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය. පසුගියදා ජිබ්රැල්ටර් මුහුදු ප්‍රදේශයේදී ඉරාන තෙල් නෞකාවක් බ්‍රිතාන්‍ය නාවික හමුදාව සිය භාරයට ගත්තේ අදාල නෞකාව යොදා ගනිමින් සම්බාධක නොතකමින් සිරියාවට තෙල් ප්‍රවාහනය කරන බව පවසමිනි. අදාල නෞකාව මේ වන විටත් බ්‍රිතාන්‍ය ග්‍රහණයේ තිබෙන අතර වැඩිදුර විමර්ශන සඳහා එය තවත් දින 30 ක් රඳවා තබා ගැනීමට ජිබ්රැල්ටර් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අවසර ලබා දුන්නේය.