අර්ජුන් ඇලෝසියස් ඇතුළු 7 කට අධි චෝදනා භාර දෙයි

අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 7 කට අධි චෝදනා භාර දෙයි

by Staff writer 19-07-2019 | 12:42 PM
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකරු ලෙස නම්කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි, නීතිපතිවරයා අද පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා එම ඉල්ලීම කළේ විත්තිකරු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරා ඇති බව දැනුවත්ව සිටියදීත්, හිතාමතාම අධිකරණය හමුවේ පෙනී නොසිටින බව පෙන්වා දෙමින්. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කැදවනු ලැබීය. ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේයී. එහිදී අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝග අනූව එම නඩුවේ විත්තිකරුවන් හත්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය. එම විත්තිකරුවන් හත්දෙනාට විවෘත අධිකරණය හමුවේ අද අධි චෝදනා පත්‍ර භාරදුනි. එහිදී විත්තිකරුවෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණ. එම ශරීර ඇපකරුවන් දෙදෙනා අතරින් එක් අයෙකු, පවුලේ සමීප ඥාතියෙකු විය යුතු බවට ද අධිකරණය නියෝග කළේය. එම නඩුවේ දස වැනි විත්තිකරු ලෙස නම්කර තිබූ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන් ගාසී පුංචිහේවා නමැත්තා මේ වන විට සිංගප්පූරුවේ පදිංචිව සිටින බැවින් ඔහු අධිකරණයට කැදවා ගැනීමට සිතාසි නිකුත් කරන්නැයි ද නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. හිටපු මහ බැංකු අධිපතිවරයාට වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සහ 10 වන විත්තිකරුට සිතාසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා නිකුත් කිරීමට ද විනිසුරු මඬුල්ල තීන්දු කළේය. එම නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපතිවරයා අධිකරණයට කැදවා ගැනිම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලීසිය මගින් නිල් සහ රතු නිවේදන මෙන්ම වරෙන්තු නිකුත් කර තිබේ. ඒ, අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එම නඩුව මුල් අවස්ථාවේ කැදවූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මතයි. මේ දක්වා ඔහු එම නියෝග අනූව කටයුතු කර නොමැති බව එහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඔහු දිවයිනට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පියවර ගෙන ඇතැයි ද අධිකරණයට දැනුම් දුන්නේය. 2015 පෙබරවාරී 17 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන වාර්තා හා මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කළ ජනාධිපති කොමිසම නිකුත් කළ නිර්දේශ අනූව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නිතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණ. ඒ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝෂෆ් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රී ජෝෂෆ් ඇලෝසියස්, පුස්‍ය මිත්‍ර ගුණවර්ධන, රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් හා අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් දසදෙනාට එරෙහිව අධි චෝදනා 23 ක් යටතේයී. එම නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම නම් කර තිබූ අතර එම සමාගම නියෝජනය කිරීමේ අවසරය පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන, හය වැනි විත්තිකාර ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් යන අයට පවරා ඇතැයි විත්තියේ නීතිඥවරුන් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. https://youtu.be/Uw1i9NPBSRo