කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගලයි

රත්නපුර, මහනුවර සහ නුවරඑළියට තද වැසි: කළු ගඟ පිටාර ගලයි

by Staff writer 18-07-2019 | 6:38 PM
COLOMBO (News 1st): අධික වර්ෂාවත් සමග කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගලා තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කළේ මේ වනවිට රත්නපුර, මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවා ඇති බව ය. එය සුළු ගංවතුර තත්ත්වයක් බව ද අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය. මේ වනවිට රත්නපුර, ඇලපාත සහ පැල්ලමඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ගඟ දෙපස පිහිටි පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර ගඟ දෙපස සිටින අවදානම් ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත් වන්නැයි ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් දැනුවත් කිරීම් ආරම්භ  කර ඇති බව ද ඇය සඳහන් කළේය. මේ අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට ඇඳහැලෙන අධික වර්ෂාවත් සමග කැලණිගගේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වනවිට ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව ය. අද පෙරවරු 8.30 සිට පස්වරු 5 ද්කවා කාලය තුළ රත්නපුර, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලින් තද වැසි වාර්තා වී තිබේ. එම කාලසීමාව තුළ වැඩිම වර්ෂාපතනය ලෙස රත්නපුර කුඩව ප්‍රදේශයෙන් මිලිමිටර් 176 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේය. හැටන්, දික්ඔය ප්‍රදේශයෙන් මිලිමිටර් 140 ක්, නෝටර්න් බ්‍රිජ් ප්‍රදේශයෙන් මිලිමිටර් 123 ක්, ලක්ෂපාන ප්‍රදේශයෙන් මිලිමිටර් 125 ක් , මහනුවර ප්‍රදේශයෙන් මිලිමිටර් 120, රත්නපුර ගලබොඩ ප්‍රදේශයෙන් මිලිමිටර් 113 ක්, නුවරඑළිය කෝල්බෘක් ප්‍රදේශයෙන් මිලිමිටර් 97 ක්, නෝවුඩ් ප්‍රදේශයෙන් මිලිමිටර් 78 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. මේ අතර මධ්‍යම, සබරගමුව, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තදවැසි සහ සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව ය. දිවයින හරහා විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල පැයට කිලෝමිටර් 60 පමණ දක්වා තද සුළං පැවතිය හැකි ය. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 40 -50 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං වේගය ඉහළ යාම හේතුවෙන් කුඩා ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහත්මිය සඳහන් කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේ අතරමං වූ ධීවරයින් සිටිදැයි පරික්ෂණ ආරම්භ කර ඇති බව ය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය. ඔහු සදහන් කළේ හැටන්, කොටගල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ය. මේ අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ජලාශය පහල කැලණි ගඟ දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බව ය. මේ අතර පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, රත්නපුර, වේවැල්වත්ත මාර්ගය සඳහා ද අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් කැලණි ගඟේ ජල මටට්ම ද කිතුල්ගල සහ අවිස්සාවේල්ල ප්‍රදේශ ආශ්‍රිතව ඉහළයාමක් පෙන්නුම් කරන බව ය. කෙසේ වෙතත් ගංවතුර අවදානමක් නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.