ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් CID අත්අඩංගුවට

ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක CID අත්අඩංගුවට

by Staff writer 18-07-2019 | 4:12 PM
COLOMBO (News 1st) : ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ගොස් ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඇවන්ට්ගාඩ් මැරිටයිම් ස්විසර්ස් සමාගමේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නිගමනය කළ නීතිපතිවරයා ගිනි අවි පනත යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර සිටියේ ය. ඒ අනුව ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන් අට දෙනාගෙන් 4 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 4 දෙනෙකු විදෙස්ගතව සිටින බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.