පොලිස් නිලධාරීන්ට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

සූදු පොළක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 17-07-2019 | 10:14 AM
COLOMBO (News 1st) - කළුතර දොඩංගොඩ බෝම්බුවල ප්‍රදේශයේ සූදු පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු 39 හැවිරිදි තිත්තවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. සූදු පොළ වැටලීමට පොලීසිය එහි ගිය අවස්ථාවේ එහි සිටි පිරිස පළා ගොස් තිබිණි. එහිදී පොලිස් නිලධාරීන් විසින් යතුරු පැදියක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් පොලීසියට විරෝධය දක්වා පොලිස් නිලධාරීන්ට පහර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, පහර දීමෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් කොස්තාපල් රියැදුරුවරයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ය. අත්අඩංගුවට ගත් සැකකරු ද පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.