පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

by Staff writer 17-07-2019 | 6:20 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 7.00 කින් ඉහළ දැමීමත් සමග මෙම තීරණයට එළැඹි බවයි. මේ අතර තම අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම්වලට නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ, තිරිඟු පිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති බවයි. ඒ හේතුවෙන් එහි මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේ ය. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඊයේ සිට රුපියල් 7.00 කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගත් අතර එම සමාගම් සඳහන් කළේ, නව මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ සියලුම බෙදා හැරීමේ නියෝජිතයන් වෙත දැනුම් දී ඇති බවයි. සමාගම් විසින් රුපියල් 7.00 කින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමුව ද පැනවෙන බදු අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවදුරටත් ඉහළ යනු ඇති බව එම සමාගම් සඳහන් කරයි. එම සමාගම් ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මීට මාස 7 කට පෙර සිටම තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සැලසුම් කර තිබු බවයි. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ, වැඩි කළ මිලට තිරිඟු පිටි අළෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බවය. මීට පෙර ද අදාළ සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මීට පෙර ද නඩු පවරා ඇති අතර එහි තීන්දුව මෙතෙක් ලබා දී නැත. පාන් පිටි හා පාන් මිල ඉහළ දැමීම තුළ තව ත් ආහාර ද්‍රව්‍ය ගණනවක මිල ඉහළ යාම සමාන්‍ය සිදුවීමකි. එලෙස ජීවන වියදම ඉහළ යෑම වැලැක්වීමට රජය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පළ කරයි.