by Staff writer 16-07-2019 | 8:40 PM
COLOMBO (News 1st) - යටත් විජිත ඉතිහාසයක් සහිත රටවල් වන චීනය හා ශ්‍රී ලංකාව බටහිර හා බාහිර බලවේගයන් පිළිබඳව ඉතාමත් අවධානයෙන් පසුවිය යුතු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
'බාහිර බලවේගයන්වලට ඉඩ නොදෙන චීනයේ, හොංකොං' යන මැයෙන් තානාපති කාර්යාල වෙබ් අඩවියට ලිපියක් ලියමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ක්ෂියූයැන් මේ බව පෙන්වා දුන්නේ ය.
එවන් බටහිර හා බාහිර බලවේග රටවල්වලට යහපතක් නොකරන බවත්, ඔවුන්ගෙන් සිදු වන්නේ රටට කරදර හා ව්‍යසන පමණක් බවත් අදාළ ලිපියෙහි තානාපතිවරයා පෙන්වා දී තිබේ.
ස්වාධීන හා සාමකාමී ප්‍රතිපත්තීන්වලට ගරු කරන චීනය කිසි විටක අනෙක් රටවල්වල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවන බවත්, ඔවුන් එවැනි වූ මැදිහත්වීම් හෙළා දකින බවත් චීන තානාපතිවරයා සඳහන් කළේ ය.
යහපත් අනාගතයක් නිර්මාණය කර ගත හැක්කේ, ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් බාහිර බලවේගවලට එරෙහිව සටන් කිරීමෙන් පමණක් බව ද සිය ලිපිය මගින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.