තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි මිල ඉහළට

by Staff writer 16-07-2019 | 4:59 PM
COLOMBO (News 1st) - තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 7කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් සඳහන් කළේ, නව මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ සියලුම බෙදා හැරීමේ නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බව ය. සමාගම් විසින් රුපියල් 7කින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමුව ද පැනවෙන බදු අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවදුරටත් ඉහළ යනු ඇති බව එම සමාගම් සඳහන් ක‍ළේ ය. එම සමාගම් ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මීට මාස 7කට පෙර සිටම තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සැලසුම් කර තිබූ බව ය. මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග තම නිෂ්පාදනවල මිල ගණන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණය කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, තිරිඟු පිටි මිල ගණන් ඉහළ ගිය බවට මෙතෙක් අදාළ සමාගම් තමන්ට ලිඛිතව දැනුම් දී නොමැති බව ය.