චීනයෙන් හම්බන්තොටට ඉන්ධන සමාගමක්

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන සමාගමක්

by Staff writer 16-07-2019 | 8:23 PM
COLOMBO (News 1st) - චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ය. ෆුවෙල් ඔයිල් ශ්‍රී ලංකා සමාගම ලෙස අදාළ සමාගම නම් කර ඇති අතර එය හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ය. චීන මාධ්‍ය රැසක් වාර්තා කළ ආකාරයට චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය ශ්‍රී ලංකාව තුළ මෙලෙස ඉන්ධන සමාගමක් පිහිටුවීමේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ, සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ප්‍රධාන නැව් මාර්ගයේ නෞකාවලට ඉන්ධන සැපයීමේ අරමුණිනි. 2020 වන විට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවක් සහිත මෙම සමාගම විදුලි බලාගාර සඳහා භාවිත කරන ඉන්ධන ද සැපයීම අපේක්ෂා කරන බව චීන මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. සේද මාවත ආසන්නයේ පිහිටි වටිනාම රටක් වන ශ්‍රී ලංකාවට චීනය විසින් සිදු කරන නවතම ආයෝජනය මෙය ලෙස සැලකිය හැකි ය. හම්බන්තොට වරාය හා අයෝජන කලාපයේ දැනට ආයෝජනය කර ඇති සමාගම් වන්නේ ද චයිනා මර්චන්ට් පෝර්ට් හෝලිඩින්ස්, චයිනා හාබර් ඉංජිනියරින් සහ තවත් චීන සමාගම් කිහිපයකි. අමෙරිකාව, ත්‍රිකුණාමලය හා කොළඹ යා කරමින් ආර්ථික තීරුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ ද මෙවන් පසුබිමක ය. මේ අතරතුර පසුගිය මාර්තු මස 24 වන දා මෙරට සිදු කරන දැවැන්තම ආයෝජනය ලෙස නම් කරමින් හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයක් සඳහා මුල්ගල් තැබිණි. අක්කර 200ක භූමි භාගයක් පුරා ඉදිකිරීමට යෝජිත එම තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මාස 44ක් ඇතුළත නිම කිරීමට නියමිත බව ද එදින සඳහන් කෙරිණි. ශ්‍රී ලංකා රජය සඳහන් කළ පරිදි ඕමාන් ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබඳ අමාත්‍යංශය හා සිංගප්පූරුවේ ලියාපදිංචි ඉන්දීය සමාගමක් වන සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මෙකී ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයින් ය.