අමෙරිකානු ගුවන් කඳවුරක සිට තවත් යානයක් කටුනායකට

ගුවාම්හි අමෙරිකානු ගුවන් කඳවුරක සිට තවත් යානයක් කටුනායකට

by Staff writer 16-07-2019 | 8:00 PM
COLOMBO (News 1st) - තවත් අමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ අද අලුයම පිටව ගොස් තිබේ. එම යානය ද අමෙරිකාවේ වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් සමාගමට අයත් යානයකි. අමෙරිකාවේ වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් නමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් 11 වර්ගයේ යානයක් පසුගිය සිකුරාදා අලුයම කටුනායකට පැමිණ සෙනසුරාදා අලුයම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා බලා පිටත්ව ගියේ ය. අනතුරුව ඉරිදා අලුයම 2.50ට පැමිණි එම සමාගමටම අයත් එවැනිම වර්ගයේ තවත් යානයක් අද අලුයම 12.40ට පිටත්ව ගොස් තිබුණේ ෆුජයිරා ගුවන්තොටුපොළට ය. ගුආම් දූපතේ පිහිටි ඇන්ඩර්සන් නමැති අමෙරිකානු ගුවන් හමුදා කඳවුරේ සිට එම යානය කටුනායකට පැමිණ තිබිණි. බටහිර පැසිෆික් සාගරයේ පිහිටි ගුආම් දූපත අමෙරිකානු පරිපාලනයට නතු ප්‍රදේශයක් වන අතර දූපතේ අමෙරිකානු ගුවන් කඳවුරක් සහ නාවික කඳවුරු දෙකක් පිහිටා තිබේ. මෙම ගුවන් ගමන් පිළිබඳව සැක කටයුතු කරුණු කිහිපයක් මතු වූයේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් කළ පරස්පර ප්‍රකාශ නිසා ය. නිසි අවසර ලබා ගැනීමෙන් පසුව සාමාන්‍ය ගමන් මාර්ගයේ පියාසර කරන අතරවාරයේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පළමු ගුවන් යානය පැමිණි බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. නමුත් සිවිල් ගුවන් සේවා බලධාරීන් පැවසුවේ, ඇඟලුම් රැගෙන යාමට එම යානය පැමිණි බව ය. නමුත් මෙම ගුවන් ගමන්වලින් සිදු වන්නේ ඇක්සා ගිවිසුම යටතේ අමෙරිකානු හමුදා සැපයුම් කටයුතු දැයි අපි දිගින් දිගටම ප්‍රශ්න කළෙමු. නිව්ස්ෆස්ට් යැවූ ඊමේල් පණිවුඩයකට ප්‍රතිචාර දැක්වූ වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් කේ. නෙෆ් මහතා පැවසුවේ, තම සමාගමට අමෙරිකානු රජයේ සිවිල් ගුවන් යානා සමූහය සමග කටයුතු කිරීමේ නිල බලය හිමි වී ඇති බව ය. ඒ අනුව අමෙරිකානු රජය නියෝජනය කරමින් ලොව පුරා සිය භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල නිරත වන බව ජේම්ස් කේ. නෙෆ් මහතා පවසයි. නිව්ස්ෆස්ට් යොමු කළ ඊමේල් පණිවුඩයට වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් සමාගම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අප ස්තුති වන්ත වන අතරම ඔවුන් එම ප්‍රතිචාරයෙන්ම අමෙරිකානු රජයේ කටයුතු සමග ඇති සබඳතාව තහවුරු කර තිබේ. අප යළිත් ප්‍රශ්න කරන්නේ සිවිල් ගුවන් ගමන් මුවාවෙන් මෙලෙස පැමිණ පිටව යන අමෙරිකානු යානා ඇක්සා ගිවිසුම යටතේ හමුදා කටයුතු සඳහා භාණ්ඩ හා සේවා සපයන ක්‍රියාවළියක කොටසක් ද?