නොවැක් ‍ජොකොවිච් විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනා ගනී

විම්බල්ඩන් ටෙනිස් කිරුළ සර්බියාවේ නොවැක් ‍ජොකොවිච්ට

by Staff writer 15-07-2019 | 5:51 PM

News 1st - සර්බියාවේ නොවැක් ‍ජොකොවිච් 2019 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගෙන තිබේ.

ඒ, ප්‍රවීණ ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙරර් පරාජය කරමිනි. ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි 4 ට අයත් විම්බල්ඩන් තරගාවලිය මෙවර 133 වැනි වරට පැවැත්විය. එංගලන්තයේදී වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් තරගයට මෙවර සුදුසුකම් ලැබුවේ පසුගියවර ශූරතාව දිනූ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ය. ජොකොවිච් අවස්ථා 5 කදී විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනා සිටි අතර ෆෙඩරර් අවස්ථා 8 කදී එම ශූරතාව දිනා සිටියේ ය. මෙවර පිරිමි කේවල අවසන් තරගයේ පළමු වටය තියුණු ස්වභාවයක් ගත් අතර කෙසේ නමුත් ලකුණු 7ට 6ක් ලෙස ඉන් ජය ගත්තේ ජො‍කොවිච්. දෙවැනි වටයේදී ෆෙරර් ඉදිරියට පැමිණියේ ය. ඔහු එම වටය පහසුවෙන් ජය ගත්තේ, ලකුණු 6ට 1ක් ලෙසයි. තෙවැනි වටය නැවතත් තියුණු ස්වභාවයක් ගත් අතර ලකුණු 7 ට 6 ක් ලෙස ජොකොවිච් ඉන් ජය ගත්තේ ය. සිව්වැනි වටයේදී ෆෙඩරර් හමුවේ ‍ජොකොවිච් පසුබෑමට ලක් වූ අතර ෆෙඩරර් ඉන් ජය ගත්තේ, ලකුණු 6ට 4ක් ලෙසයි. තීරණාත්මක පස්වැනි වටයෙන් ජොකොවිච් ජය ගත් අතර ඒ අනුව ඔහු වට 3ට 2ක් ලෙස තරගය ජය ගත්තේ ය. පැය 4යි මිනිත්තු 57ක කාලයක් මෙම තරගය පැවැති අතර එය ඉතිහාසයට එක් වූයේ වැඩිම කාලයක් පැවැති විම්බල්ඩන් ටෙනිස් අවසන් තරගය ලෙසයි. ටෙනිස් ශ්‍රේණිගතකිරීම් අනුව පිරිමි කේවල අංශයේ පෙරමුණේ පසුවන ජොකොවිච් මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 16ක් දිනා සිටියේ ය.