විනිසුරු තීරණ විවාදාත්මක තත්ත්වයක

ලෝක කුසලාන අවසන් තරගයේ විනිසුරු තීරණ විවාදාත්මක තත්ත්වයක

by Staff writer 15-07-2019 | 8:02 PM

News 1st - ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනා ගෙන තිබේ.

ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග ලබාදෙන ලද සුපිරි පන්දුවාරයෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහනයත් සමගයි. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් තීරණය කළේ, පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241 කි. මාටින් ගප්ටිල් ලකුණු 19 ක් රැස් කළ අතර නායක කේන් විලියම්සන් ලකුණු 30 ක් රැස් කළේ ය. කේන් විලියම්සන් වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන තරගාවලියකදී නායකයෙකු වශයෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. ඔහු මෙම තරගාවලියේදී ලකුණු 578 ක් රැස් කළ අතර 2007 වසරේදී මහේල ජයවර්ධන ලකුණු 548 ක් රැස් කරමින් තිබු වාර්තාව බිඳ දැමුවේ ය. සිය එක්දින දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කළ හෙන්රි නිකොල්ස් ලකුණු 55 ක් රැස් කළ අතර ටොම් ලැතම් ලකුණු 47 ක් රැස් කළේ ය. ජේම්ස් නීශම් ලකුණු 19 ක් රැස් කළ අතර කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ලකුණු 16 යි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහා ලියම් ප්ලන්කට් කඩුලු 3 බැගින් දවා ගත්තේ ය. අනතුරුව සිය කුළුඳුල් ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ලකුණු 242 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 86 ක් තුළදී බිඳ වැටුනේ ය. ජේසන් රෝයි ලකුණු 17 ක් රැස් කළ අතර ජොනි බෙයාස්ටෝ ලකුණු 36 ක් රැස් කර තිබේ. කෙසේ වෙතත් අනතුරුව පිටියේ ස්ථාවර වූ බෙන් ස්ටොක්ස් සහා ජොස් බට්ලර් එංගලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 110 කි. ජෝස් බට්ලර් පන්දු 60 කින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 59ක් රැස් කළේ ය. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩකයින්ට පන්දු 12 දී ලකුණු 24ක ඉලක්කයක් පැවැති මොහොතක පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වූ ජේම්ස් නීෂම් ලියම් පල්න්කට් සහ ජොෆ්රා ආචර් දවා ගත්තේ තරගයේ වැඩි වාසි නවසීලන්තයට හිමිකර දෙමිනි. ඒ අනුව අවසන් පන්දුවාරයේදී එංගලන්තයට ජයග්‍රහනය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 15 කි. කඩුලු 2 ක් පමණක් අතැතිව සිය ඉනිම දියත් කළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාර ක්‍රියාත්මක කළේ ට්‍රේන්ට් බෝල්ට්. ඔහු අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙක ලකුණු පන්දු දෙකක් ලෙස ක්‍රියාත්මක කිරීමට සමත්වූව ද තෙවැනි පන්දුවේදී බෙන් ස්ටොක්ස් හයේ පහරක් එල්ල කරමින් නැවතත් තරගය එංලන්තය දෙසට නතු කර ගත්තේ ය. අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී බෙන් ස්ටොක් එල්ල කළ පහරක් හතරේ සීමා අසළ දී රැකගත් මාටින් ගප්ටිල් නැවත පන්දුව කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කළ ද එය පන්දු රකින්නන් අභිබවා හතරේ සීමාව දක්වා යෑම හේතුවෙන් එංගලන්තයට ලකුණු 6ක් හිමි විය. නමුත් අවසන් පන්දු දෙකේදී ලකුණු 2 ක් ලබා දෙමින් ආදීල් රෂීඩ් සහ මාර්ක් වූඩ් දුවද්දී දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූයේ පන්දු වාර 50 අවසානයේ කණ්ඩායම් දෙකේ ම ලකුණු තත්ත්වයන් සමකරමිනි. එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් පන්දු 98 කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස් කළේ ය. ඒ අනුව කණ්ඩායම් දෙකටම යළි ත් පන්දුවාරය බැගින් ලබා දුන්නේ තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සුපිරි පන්දුවාරයේදී ද කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් රැස් කරමින් එය ද සමතත්ත්වයට පත් වුනේ මුළු මහත් ක්‍රීඩා ලෝලීන්ම අමන්දානන්දයට පත් කරමිනි. කෙසේ වෙතත් එවැනි අවස්ථාවක ක්‍රිකට් නීතියට අනුව ජය හිමි වන්නේ තරගය පුරාවටම සුපිරි පන්දුවාරය ද ඇතුළත්ව වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කණ්ඩායමටයි. මෙම තරගයේ දී එංගලන්තය හයේ සහ හතරේ පහර 26 ක් එල්ල කර තිබූ අතර නවසීලන්තය වාර්තා කර තිබුණ් හයේ සහ හතරේ පහර 17 ක් පමණි. ඒ අනුව ලොවට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් එංගලන්තය වසර 44 ක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක් ජයග්‍රහනය කිරීමට සමත් විය. මෙම තරගය ඉතිහාසගත වූයේ එක්දින තරග ඉතිහාසයේ සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙසයි. එංගන්තයේ බෙන් ස්ටොක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ නවසීලන්ත නායක කේන් විලියම්සන්ටයි. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ලබා දුන් විනිසුරු තීරණ දෙකක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අතුරින් නවසීලන්ත පිතිකරු රොස් ටේලර්ගේ දැවී යාම සම්බන්ධයෙන් දකුණු අප‍්‍රිකාවේ මරායස් අරෑස්මස් ලබා දුන් තීරණය ප්‍රධානයි. එංගලන්තයේ ඉනිමේ අවසන් පන්දු 3 ට ඔවුන්ට ජයග්‍රහනය සඳහා හිමිව තිබූ ඉලක්කය ලකුණු 9 කි. ට්‍රේන්ට් බෝල්ට් යොමු කළ අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී බෙන් ස්ටොක් එල්ල කළ පහරක් මාටින් ගප්ටිල් හතරේ සීමවා අසළ දී රැකගත්තේ ය. මාටින් ගප්ටිල් නැවත පන්දුව කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කළ ද එය බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ඇදී ගියේ ය. පිටියේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන තීරණය කළේ එය ලකුණු 6 ක් බවයි.