යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර නිළ නොවන මට්ටමේ ප්‍රතිත්‍රස්ත කතිකාවක් ?

by Staff writer 15-07-2019 | 9:19 PM

COLOMBO (News 1st) - යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර නිළ නොවන මට්ටමේ ප්‍රතිත්‍රස්ත කතිකාවක් පිළිබඳව මාධ්‍ය නිවේදනයක් අද නිකුත්ව තිබේ.

මෙම කතිකාව තුළින් අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව යුරෝපා සංමය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය විදහාපාන බව සඳහන් විය. යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධිකාරක ජිලේ ඩේ කර්ෂෝප් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කතිකාව පැවැත්විණි. ඊට ඊඊඑස් ප්‍රතිත්‍රස්ත අංශ ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන ලේකම් මොහොමඩ් ඒ ජාවඩ් මහතා ද එක්විය. අන්තවාදය හා ත්‍රස්තවාදය පිළිබඳව අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වූ බව සඳහන් ය. යුරෝපා සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මෙම සංගමය ප්‍රතිත්‍රස්ත කටයුතු නිසිලෙස හැසිරීම සහ අන්තවාදය හා ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් සිදු කළ යුතු බව සඳහන් කර තිබේ. යුරෝපා සංගමය විසින් ස්ථාවරභාවය හා සාමය ස්ථාපිත කිරීම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හරහා මෙරටට සහය දක්වන බවට එකඟවී ඇත. මේ තුළින් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පුනරුත්ථාපනයටත්, සාමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වන අන්තවාදය මැඩපැවැත්වීමටත් යුරෝ මිලියන 8.5 ක දීමානාවක් මෙරටට ලබාදී තිබේ. කෙසේවෙතත් යුරෝපා සංගමය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ප්‍රතිත්‍රස්ත කටයුතුවලදී සහයෝගය දැක්වීමට තැත්කරන්නේ ඇයිදැයි මතුවන්නේ සැකයකි. වසර 33 කට අධික යුද අත්දැකීමක් ඇති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශවලට ඇත්තේ ඉතාමත් හොඳ ඉතිහාසයකි. අපේ රටේ ආරක්ෂාව අපේ හමුදාවට කලමනාකරණය කර ගත හැකි බව රාජ්‍ය නායකයා මෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද පැහැදිලි කර කරුණකි. මෑතකදී රටේ නීතියට පිටින් කසළ තොග ගෙන්වා තිබුනේ යුරෝපා සංගමයේ හවුල්කාර රටකිනි. මෙම අපද්‍රව්‍ය අතර භාවිතයට නුසුදුසු විෂ සහිත රසායනික ද්‍රව්‍යය පවා තිබූ බව වාර්තා විය. ශ්‍රී ලංකාවට උදව් කිරීමට තැත් කරන යුරෝපා සංගමය ඔවුන්ගේ බුද්ධි අංශ භාවිත කරමින් මෙවැනි නීති විරෝධි ක්‍රියා ගැන සොයා බැලීම වඩා වැදගත් නොවන්නේ ද? එසේ නොකර මැතිවරණ තුනක් අභියස සමාජ මාධ්‍ය පිළිබඳව අවධානය යොමුකර විශාල මුදලක් ලබාදීමට සූදානම් වන්නේ ඇයි ? යුරෝපා සංගමයට ඇත්ත වශයෙන්ම අප රටට උදව් කිරීමට අවශ්‍යනම් දුෂ්කර පළාත්වල සිටින ජනතාවගේ ජීවිත නගා සිටුවීමට හැකි ව්‍යාපෘති විශාල සංඛ්‍යාවකට අනුග්‍රහය දැක්විය හැකියි. එසේ නොකර ප්‍රතිත්‍රස්ත ක්‍රියා ගැන අප සමග ඔවුන් කතා කරන්නේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ වූ අයගෙන් 98% ක්ම අත්අඩංගුවට ගෙන ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන පසුබිමකයි. ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් තීරණාත්මක මොහොතක මෙවැනි ක්‍රියාදාමයන් කුමන්ත්‍රණකාරී ද යන්න ජනතාව තුළ මතුවන්නේ සැකයකි.